මෙරට ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන “ත්‍රිපෝෂ” නිෂ්පාදනය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රජය තීරණාත්මක පියවරක් ගෙන තිබේ. ඒ අනුව, ලංකා ත්‍රිපෝෂ සමාගමට අවශ්‍ය බඩ ඉරිඟු සපයා ගැනීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව (STC) සමඟ අද (18) විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹුණි.
රාජ්‍ය ආයතන දෙකක් අතර මෙවැනි ගිවිසුමක් අත්සන් කළ පළමු අවස්ථාව මෙය වන අතර, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී මෙම කටයුත්ත සිදු විය. මෑත කාලීනව බඩ ඉරිඟු හිඟය හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වීම නිසා ඇතිවූ පෝෂණ අර්බුදයට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
ගිවිසුමට අනුව බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4000ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු මෙට්‍රික් ටොන් 1500ක තොගය ලබන මාර්තු මාසයේ පළමු සතිය වන විට ත්‍රිපෝෂ සමාගම වෙත ලබාදීමට නියමිතය. මෙමගින් ත්‍රිපෝෂ නිෂ්පාදනාගාර කටයුතු පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවන බව බලධාරීහු සහතික වෙති.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලද අතර, මෙම ක්‍රියාවලිය හරහා පෞද්ගලික අංශයේ අතරමැදියන් නොමැතිව රජය සෘජුවම මැදිහත් වීම නිසා පිරිවැය අවම කරගැනීමට ද හැකිවනු ඇත.
මෙම නව සැපයුම් දාමය හරහා ඉදිරි මාස කිහිපය තුළ දිවයින පුරා පවතින සායන සහ රෝහල් වෙත ත්‍රිපෝෂ බෙදාහැරීම හිඟයකින් තොරව සිදුකිරීමට මඟ පෑදේ.














