කොළඹ වරාය නගරයේ (Port City) පැවති ඩී.ජේ. සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී දුම්වැටි රැගෙන ඇතුළු වීමට උත්සාහ කළ තරුණයන් 14 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමේදී මෙම පිරිස කොටු වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 2060 ක්, කුශ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1580 ක් සහ තීරුබදු රහිතව මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි පැකට් 03 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වරාය නගර පිවිසුම අසලදී මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් තරුණයන් 08 දෙනෙකු, කුශ් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 03 දෙනෙකු සහ නීතිවිරෝධී දුම්වැටි ළඟ තබාගත් තරුණයන් 03 දෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි. මොවුන් මහනුවර, ග්‍රෑන්ඩ්පාස්, බෙන්තොට සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 ත් 26 ත් අතර පසුවන තරුණයන් පිරිසකි.














