හංගේරියානු බලධාරීන් විසින් යුක්රේන රජයට අයත් ‘ඔස්චැඩ්බෑන්ක්’ (Oschadbank) ආයතනයේ සේවකයින් හත්දෙනෙකු බුඩාපෙස්ට් නුවරදී ප්‍රාණඇපයට ගෙන ඇති බවට යුක්රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා බරපතල චෝදනාවක් එල්ල කරයි. මෙය හුදෙක් රඳවා තබා ගැනීමක් නොව “රාජ්‍ය ත්‍රස්තවාදයක් සහ කප්පම් ගැනීමක්” බව අමාත්‍යවරයා සිය X ගිණුම හරහා අවධාරණය කර තිබේ.
ඔස්ට්‍රියාවේ සිට යුක්රේනය බලා ගමන් කරමින් තිබූ රථ දෙකක තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක්, යුරෝ මිලියන 35ක් සහ රත්‍රන් කිලෝග්‍රෑම් 9ක් හංගේරියානු බලධාරීන් විසින් මෙලෙස සිය භාරයට ගෙන ඇත. අදාළ දේපළවල මුළු වටිනාකම ඩොලර් මිලියන 80කට අධිකය. තම සේවකයින් සහ දේපළ වහාම නිදහස් කරන ලෙස යුක්රේනය දැඩිව ඉල්ලා සිටින අතර, GPS දත්ත මඟින් එම වාහන බුඩාපෙස්ට් නුවර පවතින බව බැංකු බලධාරීන් තහවුරු කර තිබේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ යුක්රේනයට ලබාදෙන යුරෝපා ආධාර පැකේජය හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් විසින් අවහිර කිරීම සහ හංගේරියාවට රුසියානු තෙල් රැගෙන එන ‘Druzhba’ නල මාර්ගය අලුත්වැඩියා කිරීම යුක්රේනය විසින් හිතාමතාම ප්‍රමාද කරන බවට එල්ල වන චෝදනා මධ්‍යයේය. ලබන මාසයේ පැවැත්වෙන තීරණාත්මක මැතිවරණයට මුහුණ දෙන අගමැති ඕර්බන් පවසා ඇත්තේ තෙල් නල මාර්ගය විවෘත කිරීමට යුක්රේනයට බල කිරීම සඳහා තමන් “දේශපාලන සහ මූල්‍ය මෙවලම්” භාවිතා කරන බවයි. රුසියාව සමඟ සමීප සබඳතා පවත්වන හංගේරියාවේ මෙම ක්‍රියාව ජාත්‍යන්තර අවධානයට ද ලක්ව තිබේ.














