අලුතින් ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) දින පෙරවරුවේ දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ සංකේතාත්මකව විවෘත කරමිනි.
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙයට සමඟාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර ඇසළ ක්‍රීඩාංගණය අසළ පිහිටි පුහුණු මධ්‍යස්ථානය විවෘත කීරීම සංකේතාත්මකව සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා එම අවස්ථාවට එක්ව සිටියේය.
දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.
මිත්‍රවරුනි,
අපේ රටට වර්ණවත් සංස්කෘතියක් වගේම වර්ණවත් ඉතිහාසයක් තියෙනවා. අපි විවිධ ජන කණ්ඩායම් හා ආගම්වලින් පෝෂණය වුණ රටක්. අපේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ජීවන රටා, විලාසිතා ගත්තත් බොහෝම වර්ණවත්. මේ සංස්කෘතියට මේ වර්ණ එකතු කරන කලාවන් කිහිපයක් අපි දකිනවා.
දේශීය ඇඟලුම් වගේම බතික් කලාවත් ඒ අතර තිබෙන බවයි අපි විශ්වාස කරන්නෙ.
එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වා දෙන්න කලින් මේ අත්යන්ත්‍ර රෙදිපිළිවලට විශාල පිළිගැනීමක් තිබුණා. හැබැයි විවෘත ආර්ථිකය හඳුන්වලා දීපු දවසෙ ඉඳන් පිටරට රෙදි පිළි වලට දොරටු විවර වුණා. මේ නිසා සිදුවෙච්ච අභාග්‍ය සම්පන්න දේ තමයි අපේ දේශීය ආර්ථිකයට පණ දෙන්න තිබුණ කර්මාන්තශාලා ටික වැහිලා ගියපු එක.
තුල්හිරියෙ පෙහෙ කම්හල වගේ මුළු රටටම රෙදි පිළි දීපු තැන් වැහිලා ගියා. එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වල දෙනකොට දේශීය දේ රැකගන්න වැඩපිළිවෙලක් තිබුණෙ නැහැ. දශක ගණනාවක් අපි එහි ප්‍රතිවිපාක වින්ඳා. ඒ නිසා අදත් අපි දේශීය නිෂ්පාදන ඉහළ දැමීම හා ඒ නිෂ්පාදනකරුවන් රැකගැනීමේ අභියෝගයට මුහුණ දෙනවා.
මිත්‍රවරුනි,
අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ දියුණුව පැවති ඒ ස්වර්ණමය යුගය නැවත ගොඩ නගන්න තමයි අපි ඒ වෙනුවෙන් වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පවා හැදුවේ. ඒ අමාත්‍යාංශයට දයාසිරි වගේ ඇමතිවරයෙක් පත්කළෙත් ලොකු විශ්වාසයකින්. දයාසිරි ඇමතිතුමා වගේම මේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරින් මේ වෙනුවෙන් ලොකු වෙහෙසක් ගන්න බව අපි දන්නවා.
රාජ්‍ය සේවකයින්ට දේශිය රෙදිපිළිවලින් මහපු ඇඳුම් අන්දවන්නත් ලොකු වෙහෙසක් ගත්තා.මට මතකයි සතියට එක දවසක් බතික් ඇදුමින් සැරසෙන දවසක් ලෙස පවා නම් කළා. මේ දේවල් කොවිඩ් එක්ක යටපත් වුණත් සමාජයට ඒ දේවල්වලින් දෙන පණිවුඩය වැදගත් බව සිහිපත් කරන්න ඕන.
ඒ විතරක් නෙමෙයි, වෙසක් එකට බතික් කූඩු හැදුණා.අලුත් අවුරුදු උදාවට බතික් ඇදුම් අඳින්න ජනතාව උනන්දු කෙරෙව්වා. ජනතාවත් ඒවාට කැමැත්තෙන්ම සම්බන්ධ වෙනවා අපි දැක්කා. පහුගිය දවසේ අත්යන්ත්‍ර රෙදි වලින් කඨින චීවරයක් පවා නිර්මාණය කරලා සමාජයේ මේ ගැන තියෙන උනන්දුව වැඩි කළා. මේ හැමදේම එක්ක රටේ බතික් ඇඳුම් අඳින රැල්ලක්, බතික් සැරසිලි කරන රැල්ලක් ඇතිවුණ බව අපි දන්නවා.
ජනාධිපතිතුමා, මේ විධියට අමාත්‍යාංශ වෙන්කරලා, විෂය වෙන වෙනම දෙනකොට එදා විශාල චෝදනා එල්ල වුණා. අකමැති වුණා. අද ඒ දේවල් නිවැරදි ලෙස සමාජය පරිවර්තනය කරන්න හේතුවෙලා කියලා අපට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
මිත්‍රවරුනි,
අපි බලයට ආවම දේශීය කර්මාන්ත නගා සිටුවන්න විශාල අවධානයක් යොමු කරනවා. ඇතැම් කාලවල මේ කර්මාන්ත දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. මේවයින් යැපෙන ජනතාව ගැන හොයලා බැලුවේ නෑ. ඒ විතරක් නෙමෙයි රටක් විධියට ලෝකෙට යන්න තියෙන අවස්ථා අහිමි කරලා දේශිය රෙදිපිළි කර්මාන්තය වල පල්ලටම ඇදල දාලයි තිබුණේ.
එහෙම තිබුණ කර්මාන්තයක් තමයි අපි මේ නැවත පණ ගහල අරගෙන ජාත්‍යන්තරය ජය ගන්න තැනට කටයුතු කරන්නෙ.ඒ සඳහා රජයට වැඩ පිළිවෙලක් තියෙනවා. අද රටපුරා බතික් හා දේශිය ඇඟලුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් බිහි කරන්නෙත් ඒ වැඩපිළිවෙලේ කොටසක් විධියට කියලයි ඇමතිතුමා මා සමඟ කිව්වේ.
මේ කර්මාන්ත නවීන ලෝකයට ගැලපෙන විධියට ජාත්‍යන්තරයට රැගෙන යන්න නම් අපි ගුණාත්මක මෙන්ම තරගකාරී නිෂ්පාදන කරන්න අවශ්‍යයයි. අපි අනිත් රටවල්වලට වඩා වෙනස් වෙන්නෙ ඇයි කියලා පෙන්වන්න ඕන. ඒ අභියෝගයට මුහුණ දෙන එක හිතන තරම් ලේසි පහසු නැහැ.
මිත්‍රවරුනි,
අපේ රටෙන් ගිලිහිලා යන්න ගිය මේ කර්මාන්තය මෙහෙම හරි රැක ගත්තේ සාම්ප්‍රදායිකව මෙම කර්මාන්තයේ රැදී සිටි ඉතා සුළු පිරිසක්. ඒ අය කුමන බාධා ආවත් ඒවා විඳ දරාගෙන මේ තරමටවත් මෙම කර්මාන්තය රැකගෙන ඉදිරියට ආවා. ඔවුන්ව අමතක නොකර, අපි ඔවුන් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා මෙම කර්මාන්තය ගැන නවීන දැනුමින් ඔවුන්ව සන්නද්ධ කරලා, නව නිර්මාණකරුවන් පිරිසක් බිහි කරන්නත් අද මේ ඇරඹෙන පුහුණු මධ්‍යස්ථානවලින් හැකිවෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.
ඉදිරියේ දී කර්මාන්තය සඳහා රට තුළ විශාල වටිනාකමක් නිර්මාණය කිරීමට අපි වගබලා ගන්නවා. පාසල්,සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නිල ඇදුම් පවා සැපයීමේ වැඩි වගකීම් කොටසක් අපි දේශීය නිෂ්පාදකයන්ට භාර කරනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය ආයතනවලට අවශ්‍ය බතික් ඇතුළු දේශීය රෙදිපිළි අදාළ ආයතනය පිහිටි පළාතේ දේශිය නිෂ්පාදකයන්ගෙන් මිලට ගන්න යාන්ත්‍රණයක් දැනටමත් අපි හඳුන්වා දී තිබෙනවා. මට මතක විධියට අපේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමා කැබිනට්ටුවට ඉදිරිපත් කරපු යෝජනාවට ඒ සඳහා අනුමැතිය ලැබුණා.
මිත්‍රවරුනි,
විශේෂයෙන් අත් යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදනයට ඇති බාධා ඉවත් කරන්න අපට හැකිවුණා. අපේ රටේ රෙදි පිළිවලට සංචාරකයන්ගේ විශාල ආකර්ශනයක් තිබෙනවා. මේ කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙනියන්නත් එය හොඳ මාවතක්.
ඒනිසා මේ හැමදේටම සරිලන නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් මේ පුහුණු සහ නිෂ්පාදන මධ්‍යස්ථානවලින් බිහිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.
නිෂ්පාදනය කරන ඇඳුම් පැළඳුම්වලට ගුණාත්මක නිමාවක් ලබා දීම වගේම, පරිසර හිතකාමීව ඒවා ඉටු කරන ආකාරය පුහුණු කිරීමත් අත්‍යවශ්‍යයයි. අපේ දරුවන් මේවා නිවැරදි ආකාරයට ඉගෙන ගැනීමෙන් අනාගතයේ දවසක ඔවුන්ට මේ ක්ෂේත්‍රයේම ව්‍යවසායකයන් ලෙස ඉදිරියට ඒමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පරිසර හානිය පවා අවම කරගෙන නිෂ්පාදන කටයුතු මෙහෙයවන ආකාරය දැනගැනීම රටේ අනාගත යහපැවැත්මට ඉතා වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.
ඔබ සැමට නිරෝගිමත් සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, අතිරේක ලේකම් (පාලන) ඩී.නන්දනී සමරවික්‍රම, අතිරේක ලේකම් (සංවර්ධන) සුජීවා ජී පල්ලියගුරුගේ, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, ලංකා සළුසල සභාපති ඩෙන්සිල් පෙරේරා,ලක්සල සභාපති ලක්මාල් වික්‍රමාරච්චි, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු,ලක්සල අධ්‍යක්ෂ කැළුම් ජයවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු ආයතන ප්‍රධානීහු කිහිප දෙනෙක් එක්ව සිටියහ.