කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ පාලකුඩාව හන්දියේ පිහිටි ධීවර දැල් ආම්පන්න අලෙවිකරන වෙළෙඳසලකට පසුගිය 21 වැනිදා කැබ් රථයක් කඩා වැදී බරපතළ හානි සිදුකර ඇති බව කල්පිටිය පොලිසිය පවසයි. අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කර ඇති බව වෛද්‍ය වාර්තා මගින් සනාථ වී තිබේ.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති එස්. මිල්රෝයි මහතා සඳහන් කළේ මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කිරීම සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම යන චෝදනා යටතේ රියදුරාට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවයි. මෙම අනතුරින් වෙළෙඳසලට සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර වාසනාවකට මෙන් කිසිදු පුද්ගල ජීවිත හානියක් වාර්තා වී නොමැත.
පවතින ‘යුක්තිය’ මෙහෙයුම් මධ්‍යයේ වුවද, මෙලෙස මත්ද්‍රව්‍ය පානය කර රිය පදවමින් අහිංසක වැසියන්ගේ දේපළ හා ජීවිත අනතුරේ හෙළන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.














