නීති විරෝධී බීඩි කොළ ජාවාරම පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදීයි මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත්තේ. නීතිවිරෝධී ලෙස මෙලෙස බීඩි කොළ රට තුළට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමි වන ආදායම වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බවත්, ඒ අතරතුරදීම බීඩි කර්මාන්තයේ නිරතව සිටින දේශීය ශ්‍රමිකයන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවත් කාරක සභාව මෙහිදී අවධාරණය කළා.
බීඩි නිෂ්පාදනය සඳහා භාවිත කරන කොළ ආනයනය කිරීමේදී රජය මඟින් බද්දක් අය කරනු ලබන අතර, ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විශාල කොළ ප්‍රමාණයක් රට තුළට හොර රහසේ රැගෙන එන බවද කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. මෙය වැළැක්වීම සඳහා මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතත්, මෙලෙස නීති විරෝධී ලෙස එන බීඩි කොළ හේතුවෙන් රජයට ලැබිය යුතු නිසි බදු ආදායමට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි රැස්වීමට පැමිණි රාජ්‍ය නිලධාරීන් පෙන්වා දුන්නේ.
මෙම නීති විරෝධී බීඩි කොළ ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු විවිධ ආරක්ෂක සහ නීතිමය ක්‍රම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම නීති විරෝධී බීඩි කොළ භාවිත කරමින් බීඩි කර්මාන්තයේ නියැලෙන අයගෙන් රජයට ලැබිය යුතු බදු නිසි පරිදි අය කර ගැනීමට නොහැකි වී ඇති බැවින්, මෙය වැළැක්වීමට සහ රජයට හිමි විය යුතු නියමිත බදු ආදායම උපයා ගැනීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙසද කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබා දුන්නා.














