ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිදුකරන තීරණාත්මක සමාලෝචනයක් සඳහා අද (26) දිවයිනට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය තහවුරු කර ඇති පරිදි, මෙම නියෝජිත පිරිස අප්‍රේල් 9 වනදා දක්වා මෙරට රැඳී සිටිමින් රජයේ බලධාරීන් සමඟ ප්‍රතිපත්තිමය සාකච්ඡා පවත්වනු ඇත.
මෙම සංචාරයේ විශේෂත්වය වන්නේ 5 වන සහ 6 වන සමාලෝචන ඒකාබද්ධව සිදු කිරීමට සැලසුම් කර තිබීමයි. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආර්ථික බලපෑම, ගෝලීය ඉල්ලුම වෙනස් වීම සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වී ඇති අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.
පස්වන සමාලෝචනය සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව දැනටමත් එළඹ ඇති අතර, මෙම ඒකාබද්ධ සමාලෝචනය සාර්ථකව අවසන් කර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක මූල්‍ය වාරිකයක් නිදහස් කර ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ නවතම තක්සේරුවක් සිදු කිරීමටත්, ඉදිරියේදී ලබා දිය හැකි උපරිම සහයෝගය තීරණය කිරීමටත් නියමිතය.
















