මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළ දැමීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) ප්‍රකාශ කර තිබේ. යුද්ධය අවසන් වුවද, පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට ලෝක ආර්ථිකය යළි පත්වීම ඉතා අපහසු වනු ඇති බව ඇය පෙන්වා දෙයි. ඉහළ යන බලශක්ති පිරිවැය, විනාශ වූ යටිතල පහසුකම්, සැපයුම් දාම බිඳ වැටීම සහ වෙළෙඳපොළ විශ්වාසය පළුදු වීම මීට ප්‍රධාන හේතු ලෙස ඇය සඳහන් කළාය.
පවතින අර්බුදය හමුවේ යුද්ධයෙන් පීඩාවට පත් වූ රටවලට හදිසි මූල්‍ය ආධාර සැපයීම සඳහා යුරෝ බිලියන 17.2ක් සහ 42.9ක් අතර මුදලක් වෙන් කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැලසුම් කරමින් සිටී. මෙම මූල්‍ය ආධාරවල වටිනාකම තීරණය වන්නේ දැනට ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය ක්‍රියාත්මක වන ආකාරය මතය.
මෙම යුදමය වාතාවරණයේ වඩාත් බරපතල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් මිලියන 45කට අධික පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටින බව ද මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. විශේෂයෙන්ම මැදපෙරදිග ආශ්‍රිත රටවල ආර්ථික ස්ථාවරත්වය දැඩි අවදානමකට ලක්ව ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය වෙළෙඳපොළ තුළ අස්ථාවරත්වයක් පවතිනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.














