ඉන්දියාවේ පුළුල් පරිපාලන ප්‍රතිසංවිධානයක පියවරක් ලෙස ප්‍රාන්ත සහ මධ්‍ය පාලන ප්‍රදේශ කිහිපයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් සහ නියෝජ්‍ය ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය පියවර ගෙන තිබේ. මෙම පත්වීම්වලට අනුව බටහිර බෙංගාලයේ නව ආණ්ඩුකාරවරයා ලෙස ආර්.එන්. රවී මහතා පත් කර ඇති අතර ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය සී.වී. ආනන්ද බෝස් මහතා වෙනුවට කටයුතු කරනු ඇත. හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන තරංජිත් සිං සන්ධු මහතා දිල්ලියේ නව නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇති අතර, මෙතෙක් එම ධුරයේ කටයුතු කළ විනායි කුමාර් සක්සේනා මහතා ලඩාක්හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ලෙස මාරු කර යවා තිබේ.
අනෙකුත් ප්‍රාන්ත සඳහා සිදුකළ පත්වීම් සලකා බැලීමේදී, හිමාචල් ප්‍රදේශ් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශිව් ප්‍රතාප් ශුක්ලා මහතා තෙලන්ගානාහි නව ආණ්ඩුකාරවරයා ලෙසත්, හිටපු තෙලන්ගානා ආණ්ඩුකාර ජිෂ්ණු දේව් වර්මා මහතා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරයා ලෙසත් පත් කර ඇත. ජ්‍යෙෂ්ඨ දේශපාලන නායක නන්ද් කිෂෝර් යාදව් මහතා නාගලන්තයේ නව පාලකයා ලෙස කටයුතු කරනු ලබයි. බිහාරයේ නව ආණ්ඩුකාරවරයා ලෙස විශ්‍රාමික ලුතිනන් ජනරාල් සයිඩ් අටා හස්නයින් මහතා පත් කර ඇති අතර, ලඩාක්හි හිටපු නියෝජ්‍ය ආණ්ඩුකාරවරයෙකු වූ කාවින්දර් ගුප්තා මහතා හිමාචල් ප්‍රදේශ්හි නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ.
තමිල්නාඩු ප්‍රාන්තය සඳහා හිටපු කේරළ ආණ්ඩුකාරවරයෙකු වූ රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකාර් මහතා නව පාලකයා ලෙස පත් කිරීමට ජනාධිපතිනිය පියවර ගෙන ඇත. මෙම සියලු පත්වීම් අදාළ නිලධාරීන් සිය ධුරයන්හි වැඩ භාරගන්නා දින සිට නිල වශයෙන් බලාත්මක වන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.















