මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය ලකුණු 7කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම, අඛණ්ඩව දෙවන වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (5) රාත්‍රියේ සමත් විය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 253ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 246ක් පමණි.
එංගලන්ත ඉනිම වෙනුවෙන් ජේකොබ් බෙතෙල් පන්දු 48කදී ලකුණු 105ක් රැස්කරමින් ඉන්දියාවට ප්‍රබල තර්ජනයක් එල්ල කළද, අවසන් මොහොතේ ඔහු දුවද්දී දැවීයාමකට ලක්වීමත් සමඟ තරගයේ පාලනය නැවතත් ඉන්දියාව සතු විය. මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව ලෝක කුසලාන අවසන් මහා තරග දෙකකට සුදුසුකම් ලැබූ ලොව තෙවන රට බවට ඉන්දියාව පත්වූ අතර, මීට පෙර පාකිස්තානය සහ ශ්‍රී ලංකාව පමණක් මෙම සුවිශේෂී දස්කම දක්වා තිබුණි. ඒ අනුව මෙවර ලෝක කුසලාන අවසන් මහා සටනේදී සිය ශූරතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් ඉන්දියාව පිටියට පිවිසීමට දැන් සූදානම්ව සිටියි.















