ඉන්දීය මධ්‍යම රජයේ කැබිනට් මණ්ඩලය විසින් යටිතල පහසුකම් සහ සම්බන්ධතා ඉහළ නැංවීමේ අරමුණින් දැවැන්ත ව්‍යාපෘති රැසකට ඊයේ දින අනුමැතිය ලබා දෙන ලදී. මෙහි ප්‍රධාන පියවරක් ලෙස ග්‍රාමීය නිවාස සඳහා නළ ජලය ලබා දීමේ ‘ජල් ජීවන්’ (Jal Jeevan) මෙහෙයුම 2028 දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. 2019 වසරේ ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ යටතේ මේ වන විටත් ග්‍රාමීය නිවාස කෝටි 12.6කට අධික සංඛ්‍යාවකට ජල සබඳතා ලබා දී ඇති අතර, ඉදිරි කාලසීමාව තුළ ජල සැපයුම් පද්ධතිවල තිරසාරභාවය සහ ගුණාත්මකභාවය සහතික කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. මේ සඳහා වෙන් කර ඇති සමස්ත ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 8.7ක් දක්වා ඉහළ නංවා තිබීම විශේෂත්වයකි.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන වෙනසක් සිදු කරමින් තමිල්නාඩුවේ මදුරෙයි (Madurai) ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි විය. දැනටමත් කොළඹ, ඩුබායි සහ අබුඩාබි වැනි නගර වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක වන මෙම ගුවන් තොටුපළ ජාත්‍යන්තර මට්ටමට එසවීම හරහා රාමේෂ්වරම් ඇතුළු ප්‍රසිද්ධ වන්දනා ස්ථාන වෙත පැමිණෙන බැතිමතුන්ට සහ කලාපීය කර්මාන්තකරුවන්ට විශාල පහසුවක් සැලසෙනු ඇත. මීට අමතරව බටහිර බෙංගාලයේ සාන්ත්‍රගාචි සහ ඛාරග්පූර් අතර සිව්වන දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ඇතුළු දුම්රිය ව්‍යාපෘති කිහිපයකට ද රුපියල් කෝටි දහස් ගණනින් ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මහාමාර්ග ක්ෂේත්‍රය යටතේ මධ්‍යම ඉන්දියාව සහ දිල්ලි-මුම්බායි අධිවේගී මාර්ගය යා කරන කිලෝමීටර් 80.5ක මර්ග කොටසක් මංතීරු හතරක් දක්වා පුළුල් කිරීමට සහ නොයිඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධ කෙරෙන ගුවන් පාලම් සහිත මාවතක් ඉදිකිරීමට ද මෙහිදී අනුමැතිය ලැබුණි. 2024 ජුනි මාසයේ සිට මේ දක්වා ඉන්දීය රජය විසින් රුපියල් ට්‍රිලියන 22ක පමණ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති ප්‍රමාණයකට අනුමැතිය ලබා දී ඇති අතර, එමගින් රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ රැකියා අවස්ථා බහුල කිරීම අපේක්ෂා කෙරේ.














