ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් දිල්ලි මෙට්‍රෝ දුම්රිය සේවයේ නව මාර්ග දෙකක් අද (08) විවෘත කිරීමට නියමිතය. මෙයට සමගාමීව ඉන්දීය රුපියල් කෝටි 33,500ක් වටිනා සංවර්ධන ව්‍යාපෘති රැසකට මුල්ගල් තැබීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරේ.
මෙම ව්‍යාපෘතියේ විශේෂතා කිහිපයක් මෙසේය. පින්ක් ලයින් (Pink Line) හි මජ්ලිස් පාර්ක් සිට මවුජ්පූර්-බාබර්පූර් දක්වා කොටස සහ මැජෙන්ටා ලයින් (Magenta Line) හි දීපාලි චෞක් සිට මජ්ලිස් පාර්ක් දක්වා කොටස මෙහිදී විවෘත වේ. පින්ක් ලයින් හි නව දිගුවත් සමඟ එහි සමස්ත දිග කිලෝමීටර් 71.56ක් දක්වා වැඩි වන අතර එය ඉන්දියාවේ ප්‍රථම පූර්ණ “රින්ග් මෙට්‍රෝ” පද්ධතිය ලෙස ඉතිහාසයට එක්වනු ඇත. මෙම නව මාර්ග පද්ධතියට යමුනා ගඟ හරහා ඉදිකළ නව පාලමක් සහ මෙට්‍රෝ මාර්ගයක් මෙන්ම මහා මාර්ගයක් ද සහිත “ඩබල් ඩෙකර්” ගුවන් පාලමක් ඇතුළත් වේ. දිල්ලි මහ ඇමතිනී රේඛා ගුප්තා සඳහන් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය මගින් දිල්ලි නුවර ඊසානදිග සහ වයඹදිග ප්‍රදේශ අතර සම්බන්ධතාවය බෙහෙවින් ශක්තිමත් වන බවයි.
මෙම නව ව්‍යාපෘති මගින් දිල්ලි නුවර රථවාහන තදබදය අවම කිරීමට සහ මහජන ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම කිරීමට හැකි වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.














