මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නාවික ගමන් මාර්ග අවහිර වීම නිසා ඉන්දියාවේ පොහොර සැපයුම දැඩි පීඩනයකට ලක්ව ඇති බව වාර්තා වේ. චීනයට පසුව ලොව දෙවන විශාලතම පොහොර පරිභෝජනය කරන රට වන ඉන්දියාව, සිය පොහොර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපයෙන් වන අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන එම ප්‍රවාහන කටයුතු මේ වන විට අඩාල වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී කෘෂිකාර්මික අස්වැන්න පහත වැටී ආහාර මිල ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
ඉන්දියාවේ ප්‍රධාන ආහාර බෝග වන වී සහ තිරිඟු වගාවන් සඳහා අත්‍යවශ්‍ය වන යුරියා (Urea) ඇතුළු නයිට්‍රජන් පොහොර මෙලෙස සැපයුම් බාධාවන්ට ලක්ව ඇති ප්‍රධාන අයිතමයකි. ඉන්දියාව වාර්ෂිකව යුරියා ටොන් මිලියන 40ක් පමණ පරිභෝජනය කරන අතර, රජය විසින් ලබා දෙන සහනාධාර මත ගොවීන් ඒවා ලබා ගනී. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත්තේ පොහොර සැපයුමට බාධාවක් නොවීමට සහ ගොවීන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, යුද්ධය දිගු කාලයක් පැවතුණහොත් මෙම තත්ත්වය වෙනස් විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පන්ජාබ් සහ හර්යානා වැනි ප්‍රධාන ධාන්‍ය නිෂ්පාදන ප්‍රාන්තවල ගොවීන් පවසන්නේ, එළඹෙන ජූනි-ජූලි වගා සමය සඳහා දැනට පවතින පොහොර තොග ප්‍රමාණවත් වුවද, මැයි මාසයෙන් පසු නව තොග ලැබීම පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් නොමැති බවයි. දැනට ගොවි සමුපකාර සමිති සහ නිෂ්පාදකයින්ගේ ගබඩාවල යම් පොහොර තොග පවතින නමුත්, අනාගතයේදී ඇතිවිය හැකි හිඟය පිළිබඳව ගොවි ප්‍රජාව තුළ දැඩි නොසන්සුන්තාවයක් පවතී.














