ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින දේශපාලන සබඳතා සංවේදී වුවද, ක්‍රීඩාව ඒ සමඟ පටලවා නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ NDTV නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, ශ්‍රී ලංකාව සැමවිටම මෙම අසල්වැසි රටවල් දෙකෙහි ක්‍රීඩා සබඳතා පවත්වාගෙන යාම සඳහා මධ්‍යස්ථ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි.
දෙරට අතර පවතින ක්‍රිකට් තරඟ නැරඹීමට ඉන්දියානු සහ පාකිස්ථානු ක්‍රීඩා ලෝලීන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම, ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්ත්වයට පත්වෙමින් පවතින මෙරට ආර්ථිකයට විශාල උත්තේජනයක් වන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම එවැනි තරඟ පවතින සමයන්හි කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් සියල්ලම පාහේ පිරී පවතින අතර, එය සංචාරක කර්මාන්තයට ලැබෙන මහඟු පිටුවහලක් බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ඉන්දියාවේ ‘Khelo India’ වැනි වැඩසටහන් සහ ඔවුන්ගේ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම ඉතා වැදගත් බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම ඉදිරි වසර 5-10 ඇතුළත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟ කිහිපයක් කොළඹදී පැවැත්වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළ ඔහු, 2036 ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා ඉන්දියාව ඉදිරිපත් කරන ලංසුවට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය හිමිවන බව ද වැඩිදුරටත් කියා සිටියේය.














