ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ජොර්හාට් (Jorhat) ප්‍රදේශයෙන් ගුවන් ගත වීමෙන් පසු අතුරුදන් වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් සුකෝයි-30 (Sukhoi-30MKI) ප්‍රහාරක යානය කාර්බි ඇන්ග්ලොන්ග් (Karbi Anglong) කඳුකර ප්‍රදේශයට කඩා වැටී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම අවාසනාවන්ත අනතුරින් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය ගුවන් හමුදාව (IAF) නිවේදනය කළේ.
අනතුරින් මියගිය නියමුවන් වන්නේ ස්කොඩ්‍රන් ලීඩර් අනුජ් (Anuj) සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පූර්වේෂ් දුරාග්කර් (Purvesh Duragkar) යන නිලධාරීන් දෙදෙනායි. පුහුණු මෙහෙයුමක් සඳහා යොදාගත් මෙම යානය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.42 ට පමණ පාලක මැදිරිය සමඟ පැවති සබඳතා බිඳී ගොස් රේඩාර් තිරයෙන් මැකී ගොස් තිබුණා. එම අවස්ථාවේදීම ප්‍රදේශවාසීන්ට විශාල පිපිරුම් හඬක් ඇසී ඇති අතර කඳුකර ප්‍රදේශයෙන් දුමාරයක් මතුවන අයුරු ද දැක තිබෙනවා.
අධික වනාන්තර සහිත දුෂ්කර කඳුකර ප්‍රදේශයක යානය කඩා වැටී ඇති බැවින් සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, අද (සිකුරාදා) උදෑසන වන විට යානයේ කොටස් සහ මියගිය නියමුවන්ගේ සිරුරු කොටස් සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබෙනවා. ඉන්දියාවේ ප්‍රබලතම ප්‍රහාරක යානයක් ලෙස සැලකෙන සුකෝයි-30 යානයක් මෙලෙස අනතුරට ලක්වීමට හේතුව සෙවීම සඳහා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.















