ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් මහ ඇමති යෝගි ආදිත්‍යනාත් මහතා අද (04) ප්‍රකාශ කළේ සතුට සහ උද්‍යෝගය පිරුණු උත්සවවල සැබෑ අරුත විඳිය හැක්කේ සමාජය තුළ සාමය, ආරක්ෂාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය පවතින වාතාවරණයකදී පමණක් බවයි. ගෝරක්නාත් විහාරස්ථානයේ පැවැති සම්ප්‍රදායික හෝලි සැමරුම් ආරම්භ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
හෝලි උත්සවය යනු හුදෙක් වර්ණ ගැන්වීමක් පමණක් නොව, එය සමාජ සහජීවනය, සාමූහික ප්‍රීතිය සහ එකිනෙකා අතර පවතින භේදයන් අවසන් කිරීමේ සංකේතයක් බව මහ ඇමතිවරයා අවධාරණය කළේය. ඉන්දියාවේ වසර දහස් ගණනක අතීත උරුමය වර්තමාන පරපුර විසින් එකසේ පෙරට ගෙන යන බව ද ඔහු පැවසීය.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය පුරා ස්ථාන එක්ලක්ෂ හැට එක්දහසකට (161,000) අධික සංඛ්‍යාවක ‘හොලිකා දහන්’ හෙවත් සාම්ප්‍රදායික ගිනි මෙළවීමේ උත්සව කිසිදු ගැටුමකින් තොරව සාමකාමීව පැවැත්වූ බව ඔහු සඳහන් කළේය. මෙය සමාජය තුළ පවතින ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳ මනා සාක්ෂියක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය
ප්‍රහ්ලාද්, ශබරි හෝ අර්ජුන වැනි චරිතවල ආදර්ශය ගනිමින් යහපත් බලවේග ශක්තිමත් කිරීමට කැපවිය යුතු බවත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් ඉන්දියාව සංවර්ධිත දේශයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බවත් යෝගි ආදිත්‍යනාත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














