ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය අඟහරුවාදා (17) පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුකළ සංචාරය අතරතුර උඩප්පුව ගම්මානයට පැමිණ එහි ජනතාව සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී උඩප්පුව ශ්‍රී පාර්තසාරති දේවාලය වැඳපුදා ගත් මහකොමසාරිස්වරයා, එම ප්‍රදේශයේ වෙසෙන ජනතාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික සබඳතාවය පිළිබඳව කරුණු විමසා සිටියේය.
කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අනුව, උඩප්පුව ගම්මානයේ පදිංචිකරුවන්ගේ මුතුන්මිත්තන් 17 වන සියවසේදී දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් හි අක්කමඩම් සහ තංගච්චිමඩම් ප්‍රදේශවල සිට මෙරටට පැමිණ පදිංචි වී ඇත. ඔවුන් අද දක්වාම සිය අනන්‍ය සංස්කෘතික සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන සිටින අතර, විශේෂයෙන්ම ශ්‍රී ද්‍රෞපදී අම්මාන් වන්දනාව සහ වාර්ෂික උත්සව සමයේ පැවැත්වෙන ගිනි පෑගීමේ චාරිත්‍රය ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
මෙහිදී අදහස් දැක්වූ මහකොමසාරිස්වරයා අවධාරණය කළේ, උඩප්පුව ජනතාව දෙරට අතර පවතින සියවස් ගණනාවක ගැඹුරු මානුෂීය සබඳතාවයේ සුවිශේෂී නියෝජනයක් බවයි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක පශ්චාත් යුද පුනරුත්ථාපන පැකේජය යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සහ ප්‍රවාහන සබඳතා ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු ජනතාව දැනුවත් කළේය. ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්දියාව සැමවිටම පෙනී සිටින බව ද සන්තෝෂ් ජා මහතා මෙහිදී යළි තහවුරු කළේය.














