අද (02) අලුයම ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් උතුරු සුලවේසි දූපතේ 70 හැවිරිදි කාන්තාවක මියගොස් ඇති බව විදේශ වාර්තා තහවුරු කරයි. ඇය පදිංචිව සිටි ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සුන්බුන්වලට යටවීම නිසා මෙම මරණය සිදුව ඇති බව සහන සේවා කණ්ඩායම් පවසති. ටර්නේට් (Ternate) නගරයට කිලෝමීටර් 120 ක් දුරින් මුහුදේ හටගත් මෙම භූ චලනයත් සමඟ කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පෙන්වා දෙන්නේ භූමිකම්පාවේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ක් ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවයි. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ද ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයන් වෙත අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. සහන සේවා කණ්ඩායම් විසින් නිකුත් කරන ලද දර්ශනවල ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අයුරු සහ මහත් කම්පනයට පත් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යන අයුරු දැකගත හැකිය.
ටර්නේට් දූපතේ පමණක් ලක්ෂ දෙකකට අධික ජනතාවක් වෙසෙන බැවින්, හානි වූ ප්‍රදේශවල සුන්බුන් ඉවත් කරමින් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. මේ වන විට ශ්‍රී ලංකාවට මින් බලපෑමක් නොමැති බව තහවුරු කර තිබුණ ද, ඉන්දුනීසියාවේ මුහුදුබඩ වැසියන් තවමත් දැඩි අවදානමකින් පසුවෙති. සහන සේවා කණ්ඩායම් පවසන්නේ ඉදිරි පැය කිහිපය තුළ දේපළ හානි පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇති බවයි.















