වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා පනවා ඇති නව සමාජ මාධ්‍ය සීමාවන් උල්ලංඝනය කිරීම හේතුවෙන් ගූගල් (Google) සමාගමේ යූටියුබ් (YouTube) ප්ලැට්ෆෝමය වෙත ඉන්දුනීසියානු රජය දැඩි අවවාදාත්මක ලිපියක් යොමු කර තිබේ. පසුගිය මාසයේ ක්‍රියාත්මක වූ මෙම නීති මාලාව යටතේ කිසියම් සමාජ මාධ්‍ය ආයතනයකට එරෙහිව පැනවූ පළමු සම්බාධකය මෙය වේ.
ඉන්දුනීසියානු සන්නිවේදන හා ඩිජිටල් අමාත්‍ය මෙයුටියා හෆීඩ් මහත්මිය සඳහන් කළේ, යූටියුබ් ආයතනය අදාළ නීතිවලට අනුකූල වීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි. සයිබර් හිරිහැර (Cyberbullying) සහ ඇබ්බැහිවීම් අවම කිරීම අරමුණු කරගත් මෙම නීති මාලාවට අනුව, අවදානම් සහිත යැයි නම් කර ඇති සමාජ මාධ්‍ය ජාලවල සිටින වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ ගිණුම් අක්‍රීය කළ යුතුව ඇත.
යූටියුබ්ට අමතරව ටික්ටොක් (TikTok), රොබ්ලොක්ස් (Roblox) සහ මෙටා (Meta) යන ආයතන ද ඉන්දුනීසියාව විසින් ඉහළ අවදානම් සහිත ප්ලැට්ෆෝම ලෙස නම් කර තිබේ. මෙම නීති අඛණ්ඩව උල්ලංඝනය කළහොත් අදාළ සමාජ මාධ්‍ය ජාල රට තුළ තහනම් කිරීමට පවා රජයට බලය පවතින බව අමාත්‍යවරිය වැඩිදුරටත් අනතුරු ඇඟවූවාය. මේ අතර, මෙටා (Meta) සමාගම සිය අවම වයස් සීමාව 16 දක්වා වෙනස් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත.














