මෙක්සිකෝවේ වඩාත් භීෂණය පැතිරවූ සහ බලවත්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “එල් මෙන්චෝ” හෙවත් නෙමෙසියෝ ඔසෙගුරා සර්වන්ටෙස් (Nemesio Oseguera Cervantes) වෙඩි හුවමාරුවකදී අත්අඩංගුවට පත්වීමෙන් සුළු වේලාවකට පසු මියගොස් තිබේ. එරට රජයට අතිශය අත්‍යවශ්‍යව සිටි මෙම අපරාධකරු මෙල්ල කිරීම සම්බන්ධයෙන් මෙක්සිකානු ජනාධිපතිවරයා එරට විශේෂ බලකායන් වෙත සිය ප්‍රශංසාව පළ කර ඇත. එහෙත්, මෙම ඝාතනයත් සමඟ එරට ප්‍රධාන නගර රැසක, විශේෂයෙන්ම මෙක්සිකෝ සිටි අගනුවර තුළ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළී ගොස් ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අගනුවර මේ වන විට යුද කලාපයක් බවට පත්ව ඇති බවයි.
ලොව බියකරුම මත්ද්‍රව්‍ය කල්ලියක් ලෙස සැලකෙන ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ (CJNG) කල්ලියේ නායකයා වූ එල් මෙන්චෝගේ මරණයත් සමඟ ඔහුගේ අනුගාමිකයින් රජයට සහ ආරක්ෂක අංශවලට එරෙහිව දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි. මාර්ග බාධක පැනවීම, වාහන ගිනිබත් කිරීම සහ පොලිස් මුරපොළවල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මෙක්සිකෝවේ ජනජීවිතය මුළුමනින්ම අඩාල වී තිබේ. මෙම නායකයාගේ අභාවයත් සමඟ කල්ලිය තුළ බලය අල්ලා ගැනීමට සහ ප්‍රතිවිරුද්ධ කල්ලි සමඟ ඇති විය හැකි ගැටුම් හේතුවෙන් ඉදිරි දිනවලදී ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
















