දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ තරුණියකගේ මළ සිරුරක් රෝහල් සේවකයන් තිදෙනෙකු විසින් ඉකුත් 23 වැනිදා දූෂණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. මේ පිළිබඳව මියගිය තරුණියගේ මව විසින් ඊයේ (06) නිල වශයෙන් පොලිස් පැමිණිල්ලක් සිදුකළ අතර, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ජාතික ජන බලවේගය) මංජුල සුරවීර ආරච්චි මහතාගේ මැදිහත්වීමෙන් රෝහල් පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සහ පොලිසිය වෙන් වෙන් වශයෙන් විමර්ශන දෙකක් ආරම්භ කර ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍යයට අනාවරණය කළේය. රෝහලේ ආරක්ෂිත කැමරා (CCTV) පරීක්ෂා කිරීමේදී අදාළ සේවකයන් තිදෙනා අවස්ථා 4කදී මෘත ශරීරාගාරය වෙත ගොස් කෙටි කාලයකින් ආපසු එන අයුරු නිරීක්ෂණය වී තිබේ. මළ සිරුර ශීතකරණයේ තැන්පත් නොකිරීම, මෘත ශරීරාගාරය ඉබි යතුරු දමා වසා නොතිබීම සහ සේවකයන් තිදෙනා අනවශ්‍ය ලෙස එහි ඇතුළු වීම යන කරුණු මත දැඩි සැකයක් පවතින බැවින් විමර්ශන අවසන් වන තෙක් එම සේවකයන් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඇත.














