ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය වන ලේඛනය හෙවත් ‘විසිරැසියාව’ (NOC) තමන්ට ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි වැඩිදුර විභාගය අප්‍රේල් 09 වැනිදාට නියම කෙරුණා.
මෙහිදී නුවන් තුෂාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. 2026 අයි.පී.එල්. තරගාවලිය සඳහා ඔහුව ‘රෝයල් චැලෙන්ජර්ස්’ (RCB) කණ්ඩායම විසින් තෝරාගෙන ඇති අතර මීට පෙර 2024 සහ 2025 වසරවලදීද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය ඇතිව මෙම තරගාවලියට ක්‍රීඩා කර තිබෙනවා.
කෙසේ වෙතත් නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටම (Fitness Standards) සපුරා නොමැති බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ඔහුට අදාළ අවසර පත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි අධිකරණ වාර්තාවල දැක්වෙන්නේ. තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති කරගත් ගිවිසුම 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ බවත්, එය තවදුරටත් අලුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවත් තමන් මණ්ඩලයට දන්වා තිබූ බව තුෂාර මෙහිදී තර්ක කර තිබෙනවා. එබැවින් යෝග්‍යතාවය පදනම් කරගෙන විදේශ ලීග් තරග සඳහා සහභාගී වීමට අවසර නොදීම අසාධාරණ බව ඔහුගේ ස්ථාවරයයි.
අවසර පත්‍රය නොලැබුණහොත් තමන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට අයි.පී.එල්. බලධාරීන් කටයුතු කරනු ඇති බවත්, එමඟින් තමන්ට විශාල ආදායමක් සහ අනාගත වෘත්තීය අවස්ථාවන් අහිමි වන බවත් තුෂාර අධිකරණයට පවසා සිටිනවා. ඒ අනුව තමන්ට අදාළ අවසරය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු සහ ස්ථිර තහනම් නියෝග නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.














