ඉරාන උත්තරීතර ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු කථානායක අලි ලැරිජානි (Ali Larijani) මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැඩි චෝදනාවක් එල්ල කර තිබේ. ඔහු පවසන්නේ දෙරට අතර පවතින ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ අමෙරිකානු සොල්දාදුවන් කිහිප දෙනෙකු ඉරාන අත්අඩංගුවට ගෙන ඇති බවත්, ට්‍රම්ප් පාලනාධිකාරිය එම තොරතුරු ලෝකයෙන් සඟවන බවත්ය.
අලි ලැරිජානි මහතා සෙනසුරාදා රාත්‍රියේ ප්‍රකාශ කර සිටියේ අමෙරිකානු සොල්දාදුවන් පිරිසක් ඉරාන බන්ධනාගාරවල රඳවා සිටින බවයි. ඉරාන ප්‍රහාරවලින් මියගිය අමෙරිකානු භටයන් සංඛ්‍යාව 6ක් බවට ට්‍රම්ප් ප්‍රකාශ කළද, සැබෑ මරණ සංඛ්‍යාව 500කට අධික බව ඔහු මීට පෙරද අවධාරණය කර තිබුණි. කාලයත් සමග අමෙරිකාව මෙම මරණ සංඛ්‍යාව විවිධ අනතුරු ලෙස පෙන්වා දෙමින් ක්‍රමයෙන් ප්‍රසිද්ධ කරනු ඇති බවට ද ඔහු අනාවැකි පළ කළේය.
කෙසේ වෙතත්, අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන පාලන තන්ත්‍රය විසින් සිදු කරනු ලබන මෙම ප්‍රකාශ ඔවුන්ගේ සුපුරුදු බොරු සහ රැවටිලිවල තවත් එක් පියවරක් පමණක් බව CENTCOM ප්‍රකාශකයෙකු අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ දෙරට අතර මෙම වාචික යුද්ධය ද මේ වන විට උච්චතම අවස්ථාවකට පැමිණ තිබේ.














