ඉරානයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය (MIT) ලෙස විරුදාවලිය ලත් ටෙහෙරාන් නුවර පිහිටි සුප්‍රකට ශරීෆ් විශ්වවිද්‍යාලයට (Sharif University) එල්ල වූ බෝම්බ ප්‍රහාරය ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙම ප්‍රහාරය ඊශ්‍රායල සහ ඇමරිකානු හමුදා ඒකාබද්ධව එල්ල කරන ලද්දක් බවට විදේශ අමාත්‍යවරයා චෝදනා කරන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. මීට පෙර ද ඉරානයේ විශ්වවිද්‍යාල කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ අතර, ඉරානයේ ඉහළම තාක්ෂණික අධ්‍යාපන ආයතනයට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහු සිය දැඩි විරෝධය පළ කර ඇත.
තම ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල-ඇමරිකානු ආක්‍රමණිකයන් විසින් ඉරානයේ මෙම ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයට බෝම්බ හෙළා ඇති බවයි. සරසවිය තුළ සිදුව ඇති විනාශය දැක්වෙන ඡායාරූප ද ප්‍රසිද්ධ කරමින්, ආක්‍රමණිකයන්ට නුදුරේදීම ඉරානයේ ශක්තිය හා පරාක්‍රමය දැකගත හැකි වනු ඇති බවට අරග්චි මහතා දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙම ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් වාර්තා වී නොමැති වුවද, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම මේ සමඟ තවදුරටත් වර්ධනය වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.














