ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ දේශපාලන මෙන්ම මිලිටරි නායකයින්ගේ පෞද්ගලික නිවාස මින් ඉදිරියට ඉරාන ප්‍රහාර හමුවේ නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකන බව ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය නිල වශයෙන් නිවේදනය කර තිබේ. කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න කරමින් ඉරානය මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
ඉරාන ඒකාබද්ධ හමුදා ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆාගරි (Ebrahim Zolfaghari) සඳහන් කර ඇත්තේ, ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ විවිධ නගරවල පිහිටි සාමාන්‍ය වැසියන්ගේ නිවාස ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් මෙම පියවර ගත් බවයි. මීට පෙර හමුදා කඳවුරු සහ උපායමාර්ගික මධ්‍යස්ථාන වෙත පමණක් සීමා වී තිබූ ප්‍රහාරක ඉලක්ක, දැන් ඉහළ පෙළේ නායකයින්ගේ පෞද්ගලික වාසස්ථාන දක්වා පුළුල් කිරීමට ඉරානය සූදානම් වන බව මෙමඟින් පැහැදිලි වේ.
මෙම අනතුරු ඇඟවීමත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, නායකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ රටවල් අතිශය දැඩි ආරක්ෂක විධිවිධාන යෙදවීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉරානය සහ ඇමරිකානු හිතවාදී පාර්ශව අතර පවතින මෙම ගැටුම තවදුරටත් දරුණු මුහුණුවරක් ගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
















