අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර කරමින්, යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෙනසුරාදා (28) ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රදේශ ඉලක්ක කර බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. හූති ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් යාහ්යා සරී සඳහන් කළේ ඊශ්‍රායලයේ සංවේදී හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර දියත් කළ බවත්, ඉරානයට සහ හිස්බුල්ලා සංවිධානයට සහය දක්වමින් මෙම යුද්ධයට සෘජුවම මැදිහත් වන බවත්ය.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ එල්ල වූ මිසයිලවලින් එකක් සාර්ථකව විනාශ කළ බවයි. කෙසේ වෙතත්, බීර් ෂෙබා (Beer Sheba) ප්‍රදේශයට සහ ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය ආසන්නයට මෙම ප්‍රහාර එල්ල වීමත් සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. මෙම නව පෙරමුණ විවෘත වීමත් සමඟ රතු මුහුදේ නාවික ගමනාගමනයට මෙන්ම ගෝලීය වෙළෙඳපොළට ද දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම බාබ් අල්-මන්දබ් (Bab al-Mandab) සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ලෝක වෙළෙඳාම සහ තෙල් මිල කෙරෙහි එය සෘජුවම බලපානු ඇත.














