ලෝක බලශක්ති සැපයුමේ ප්‍රධානතම මංසන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකා සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් දක්වා වූ දැවැන්ත සංක්‍රමණ ගාස්තුවක් (Transit fees) අය කිරීමේ පනත් කෙටුම්පතකට ඉරාන පාර්ලිමේන්තුව 2026 මාර්තු 31 වනදා සිය අනුමැතිය ලබා දී තිබේ. “ආරක්ෂක සේවා සැපයීම” වෙනුවෙන් අය කෙරෙන මෙම ගාස්තුව ඉරාන රියාල් (Rials) මුදලින් ගෙවිය යුතු බවට නියම කර ඇති අතර, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දැඩි යුදමය නොසන්සුන්තාවය හමුවේ ඉරානය ගත් මෙම තීරණය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලෝකයේ දිනක තෙල් සැපයුමෙන් 20% ක් හෙවත් බොරතෙල් බැරල් මිලියන 21 ක් පමණ දිනපතා මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ. විශේෂයෙන්ම චීනය සිය දෛනික තෙල් අවශ්‍යතාවයෙන් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයෙන් ආනයනය කරන්නේ මෙම මාර්ගය හරහා බැවින්, ඉරානයේ මෙම නව බදු පැනවීම හමුවේ චීනය ඇතුළු ආසියානු රටවල බලශක්ති පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතී.
ඉරානයේ මෙම පියවර ජාත්‍යන්තර නාවික ගමනාගමන නිදහස උල්ලංඝනය කිරීමක් ලෙස ඇමෙරිකාව සහ ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් දැඩි ලෙස විවේචනය කරයි. ගෝලීය බලශක්ති මිල ඉහළ නැංවීමටත්, දැනට පවතින මැදපෙරදිග අර්බුදය තවදුරටත් සංකීර්ණ කිරීමටත් මෙම තීරණය හේතු වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: China pulse (X) ඇසුරින්














