ඉරාන-ඊශ්‍රායල යුධමය උණුසුම කලාපීය මට්ටමින් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, කටාර්, බහරේනය, කුවේටය, අබුඩාබි සහ සෞදි අරාබියේ රියාද් නුවර යන ප්‍රදේශවලින් ප්‍රබල පිපිරුම් හඬවල් ඇසී තිබේ. ඉරානය විසින් කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවට බහරේන බලධාරීන් කළ අනතුරු ඇඟවීමෙන් පසුව මෙම තත්ත්වය හටගෙන ඇත.
බහරේනයේ පිහිටි අමෙරිකානු පස්වන නාවික බලඇණියේ සේවා මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව බහරේන පුවත් ඒජන්සිය තහවුරු කරයි. මේ අතර, පූර්ව ආරක්ෂක පියවරක් ලෙස කුවේටය සිය ගුවන් සීමාව සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සිය ගුවන් සීමාව අර්ධ වශයෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.














