වත්මන් බටහිර ආසියානු යුද්ධයේ අරමුණු සහ එහි අවසානය පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් වඩාත් පැහැදිලි සහ ස්ථිර ප්‍රකාශයක් බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) අද ප්‍රකාශ කළේය. ජනාධිපති ට්‍රම්ප් යුද්ධය මෙහෙයවන ආකාරය පිළිබඳව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ තමන්ට අවශ්‍ය වන්නේ යුද්ධයේ අරමුණු පිළිබඳ නිශ්චිතභාවයක් සහ පවතින උත්සන්න වූ තත්ත්වය සමනය වීම (De-escalation) දැකීමට බවයි. ඉරාන-ඉශ්‍රායල යුද්ධය හේතුවෙන් මේ වන විට දහස් ගණනක් මියගොස් ඇති අතර ලෝක බලශක්ති සැපයුමට සහ ගෝලීය ආර්ථිකයට ඉතිහාසයේ එල්ල වූ දරුණුතම බලපෑම එල්ල වී තිබේ.
පෙබරවාරි 28 වනදා ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය අතර ඔහුගේ පුත් මොජ්ටාබා (Mojtaba) එම ධුරයට පත්වීමෙන් පසු යුද්ධය තවදුරටත් කලාපය පුරා ව්‍යාප්ත විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂාව සඳහා ගුවන් යානා ලබා දීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන තිබුණ ද හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා නෞකා යැවීම ඕස්ට්‍රේලියානු රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඇමරිකාව සහ ඉරානය අතර සෘජු හා වක්‍ර සාකච්ඡා පවතින බවට ට්‍රම්ප් ප්‍රකාශ කළ ද යුදමය වාතාවරණය තවදුරටත් දරුණු ලෙස පවතින බව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














