මැදපෙරදිග පවතින උග්‍ර යුදමය වාතාවරණය සමනය කරමින් ඇමෙරිකාව සමඟ යම් එකඟතාවකට පැමිණීමට නම් අනුගමනය කළ යුතු කරුණු පහකින් යුත් විශේෂ ප්‍රති-යෝජනාවලියක් ඉරානය විසින් ඉදිරිපත් කර තිබේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කරන පරිදි ඇමෙරිකාව මීට පෙර ඉදිරිපත් කළ “කොන්දේසි විරහිතව යටත් වීමේ” සැලැස්ම ඉරානය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම නව කොන්දේසි පිළිගැනීමෙන් තොරව සිදු කෙරෙන කිසිදු සන්නිවේදනයක් සාම සාකච්ඡා ලෙස සැලකිය නොහැකි බව ඔහු අවධාරණය කරයි. ඉරානය ඉදිරිපත් කළ පළමු කොන්දේසිය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට සහ එහි ආරක්ෂාව තහවුරු කිරීමට ඉරානයට ඇති පූර්ණ අයිතිය ජාත්‍යන්තරය විසින් පිළිගත යුතු බවයි. මීට අමතරව ඉරානයට පනවා ඇති සියලුම තෙල් සහ මූල්‍ය සම්බාධක වහාම සහ ස්ථිරවම ඉවත් කිරීමට ඇමෙරිකාව පියවර ගත යුතු බවත් මැදපෙරදිග සහ පර්සියානු ගල්ෆ් කලාපයේ රැඳී සිටින සියලුම ඇමෙරිකානු ඇතුළු විදේශීය හමුදා කණ්ඩායම් ඉවත් කර ගත යුතු බවත් ඔවුන් දෙවන සහ තෙවන කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත. සිව්වන කොන්දේසිය ලෙස ඉරානයේ පවතින පාලන තන්ත්‍රය පෙරළා දැමීමට හෝ ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකාව කිසිදු උත්සාහයක් නොගන්නා බවට ජාත්‍යන්තර වශයෙන් සහතිකයක් ඉල්ලා සිටින අතර පස්වන කොන්දේසිය ලෙස සාමකාමී අවශ්‍යතා වෙනුවෙන් න්‍යෂ්ටික බලශක්තිය සහ තාක්ෂණය දියුණු කිරීමට ඉරානයට ඇති අයිතිය කිසිදු කොන්දේසියකින් තොරව පිළිගත යුතු බව ද ඉරානය අවධාරණය කරයි. ජනාධිපති ට්‍රම්ප්ගේ ඉදිරි චීන සංචාරය හමුවේ මෙම කොන්දේසි සම්බන්ධයෙන් ගෝලීය අවධානය යොමු වී ඇති අතර මෙම යෝජනා මගින් ඇමෙරිකාව යුදමය වශයෙන් ලැබූ පරාජය පිළිගැනීමට සිදුවන බව දේශපාලන විචාරකයෝ පවසති.














