හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම නෞකාවක් ඉරානයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බවත්, එම නියෝග උල්ලංඝනය කරන නෞකා ප්‍රහාරයන්ට ලක්විය හැකි බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති රියර් අද්මිරාල් අලිරේසා තංසිරි (Alireza Tangsiri) ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරානය මෙම මුහුදු මාර්ගයේ පාලනය දැඩි කිරීමට පියවර ගෙන ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කළ ‘Express Rome’ සහ ‘Mayuree Naree’ යන නෞකා දෙක පසුගිය බදාදා ප්‍රහාරයට ලක් වූ බව තංසිරි තහවුරු කළේය. “හිස් පොරොන්දු විශ්වාස කරමින් අවහිරතා මධ්‍යයේ ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් අපගේ ඉලක්ක බවට පත්වනු ඇත” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. කෙසේ වෙතත් ඇමෙරිකාවේ හෝ ඉශ්‍රායලයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටින නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ ලබා දෙන බව ද ඉරානය පවසයි.
ලෝකයේ දෛනික තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් (බැරල් මිලියන 20 කට අධික ප්‍රමාණයක්) ප්‍රවාහනය කරනු ලබන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය අවහිර වීම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළ දැඩි අර්බුදයකට පත්ව ඇත. මෙම තත්ත්වයට පිළියමක් ලෙස ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව ලබන සතියේ සිට සිය උපායමාර්ගික තෙල් සංචිතයෙන් බැරල් මිලියන 172 ක් මුදා හැරීමට සැලසුම් කර තිබේ. මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ලොව පුරා ඉන්ධන මිල සහ සැපයුම් දාමයන් අඩාල වීමේ අවදානම තවදුරටත් ඉහළ ගොස් පවතී.














