ඉරානයේ දකුණුදිග මිනාබ් (Minab) නුවර පිහිටි දැරියන්ගේ පාසලකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයට ඇමරිකානු හමුදා වගකිව යුතු බවට එරට හමුදා විමර්ශකයන් සැක පළ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. පසුගිය සෙනසුරාදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ පළමු ප්‍රහාර මාලාව අතරතුර මෙම පාසල ප්‍රහාරයට ලක්වූ අතර, ඉන් කුඩා දරුවන් ඇතුළු 150 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින විමර්ශන තවමත් අවසන් වී නොමැති වුවත්, ඇමරිකානු හමුදාවන් අතින් එය සිදුවන්නට ඇති බවට මූලික නිගමනයන්ට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත්, මෙය හිතාමතා සිදුකළ ප්‍රහාරයක්ද නැතහොත් වැරදීමකින් සිදුවූවක්ද යන්න හෝ ඒ සඳහා යොදාගත් අවි ආයුධ පිළිබඳව මෙතෙක් අවසන් නිගමනයක් ප්‍රකාශයට පත් කර නැහැ.
ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, ඇමරිකාව කිසිවිටෙකත් සාමාන්‍ය වැසියන් හෝ පාසල් ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බවයි. එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවත්, නව සාක්ෂි ලැබෙන තෙක් මේ පිළිබඳව අවසන් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.














