පසුගිය පෙබරවාරි 28 වන දින ඉරානයේ මිනාබ් නගරයේ ‘ෂජාරා තයියෙබේ’ ප්‍රාථමික පාසලට එල්ල වූ ඇමරිකානු මිසයිල ප්‍රහාරයෙන් තම දරුවන් දෙදෙනාම අහිමි වූ මොහද්දෙස් ෆලහාත් (Mohaddeseh Fallahat) නමැති මවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අතිශය සංවේදී ප්‍රකාශයක් සිදුකර තිබේ. එදින උදෑසන සුපුරුදු පරිදි තම දරුවන්ගේ හිස පීරා, සපත්තු ලේස් ගැටගසා, පාසල් බෑග් කරට දමා ඔවුන්ව සිපගෙන සමුදුන් බවත්, “අම්මේ ඉස්කෝලේ ඇරුණම අපිව ගන්න එන්න” යැයි ඔවුන් පැවසූ අවසන් වදන තම මනසෙහි දහස් වාරයක් දෝංකාර දෙන බවත් ඇය එහිදී කඳුළු පිරි දෑසින් පවසා සිටියාය.
මෙම ප්‍රහාරයෙන් සිසුන් සහ ගුරුවරුන් 170කට අධික පිරිසක් මියගිය අතර, ඉන් බහුතරය පාසල් දැරියන්ය. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සභාව අමතමින් අවධාරණය කළේ, ලොව දියුණුම තාක්ෂණය ඇති බව පවසන ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ මෙම ප්‍රහාරය කිසිසේත්ම අත්වැරදීමක් විය නොහැකි බවයි. එය හිතාමතාම සිදුකළ සමූල ඝාතනයක් බවත්, මීට පෙර පලස්තීනය සහ ලෙබනනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැක්වූ නිහඬතාවය මෙවැනි අපරාධවලට අනුබලයක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, අධ්‍යාපන අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆරීඩා ෂහීඩ් මහත්මිය පෙන්වා දෙන්නේ, පාසල් සංකීර්ණයේ සෑම ගොඩනැගිල්ලකටම වෙන වෙනම නිරවද්‍ය මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බැවින් මෙය හිතාමතාම සිදුකළ ප්‍රහාරයක් බව පැහැදිලි වන බවයි. ඇමරිකානු හමුදාව පැරණි බුද්ධි තොරතුරු (Outdated intelligence) භාවිතා කිරීම හේතුවෙන් මෙම ව්‍යසනය සිදුවූ බවට ද සැකයක් පවතින අතර, මේ වන විට ඉරානයේ පාසල් 600කට අධික සංඛ්‍යාවක් ප්‍රහාර හේතුවෙන් විනාශ වී ඇති බව වාර්තා වේ. කිසිදු හේතුවක් මත දරුවන් ඝාතනය කිරීම සාධාරණීකරණය කළ නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෝල්කර් ටර්ක් මහතා ද මෙහිදී අවධාරණය කළේය.














