උතුරු ගල්ෆ් කලාපයේදී අද උදෑසන (05) අමෙරිකානු නෞකාවකට සිය නාවික හමුදා ප්‍රහාරකයන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන රජයේ රූපවාහිනිය ප්‍රකාශ කර තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පර්සියානු ගල්ෆ් කලාපයේ උතුරු ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වූ බවත්, නෞකාව මේ වන විට ගිනි ගනිමින් පවතින බවත්ය. එමෙන්ම ගල්ෆ් කලාපය සහ ඉන්දියන් සාගරය යා කරන උපායමාර්ගික හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය තමන් සතු බව ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීම මෙතෙක් ස්වාධීන මූලාශ්‍ර මගින් තහවුරු කර නොමැති වුවද, එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය (UKMTO) වාර්තා කර සිටින්නේ කුවේට් වෙරළට ඔබ්බෙන් ටැංකර් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. එහිදී නැංගුරම් ලා තිබූ නෞකාවක වම් පසින් විශාල පිපිරීමක් දුටු බව එහි කපිතාන්වරයා වාර්තා කර ඇති අතර ඉන් අනතුරුව කුඩා යාත්‍රාවක් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන අයුරු නිරීක්ෂණය වී තිබේ.
අදාළ නෞකාව තුළට ජලය කාන්දු වෙමින් පවතින අතර භාණ්ඩ ප්‍රවාහන ටැංකියකින් මුහුදට තෙල් කාන්දු වීම හේතුවෙන් පාරිසරික බලපෑමක් ඇතිවීමේ අවදානමක් ද මතුව ඇත. නෞකාවේ ගින්නක් වාර්තා වී නොමැති අතර එහි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව පසුවන බව ද සඳහන් වේ. ඉරානයේ මෙම හදිසි ප්‍රහාරක නිවේදනයත් සමඟ කලාපීය නාවික ගමනාගමනයේ ආරක්ෂාව පිළිබඳ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.














