ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස 56 හැවිරිදි මොජ්තබා කමේනී පත්වීම සම්බන්ධයෙන් ඉරාන සමාජය තුළ දැඩි ලෙස බෙදුණු අදහස් පවතින බව බීබීසී පර්සියානු සේවය වාර්තා කරයි. 1979 විප්ලවයෙන් පසු රජ පරම්පරාවක පාලනය අවසන් කළ ඉරානය තුළ, දැන් නැවතත් පියෙකුගෙන් පුතෙකුට බලය පැවරීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක්ව තිබේ.
පාලක පද්ධතියට පක්ෂපාතී පිරිස් ටෙහෙරාන් නුවර වීදි බැස මෙම පත්වීම සැමරූ අතර, විශේෂයෙන්ම ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) සමීප මොජ්තබාගේ පත්වීම යුදමය කාලසීමාවකදී රටේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට වැදගත් වන බව ඔවුන් විශ්වාස කරයි. කෙසේ වෙතත්, ඉරාන වැසියන් පිරිසක් බීබීසී වෙත පවසා ඇත්තේ මෙම පත්වීම හරහා රට තුළ කිසිදු දේශපාලනික වෙනසක් අපේක්ෂා කළ නොහැකි බවයි. තම පියාගේ පාලන සමයේ පසුපස සිට කටයුතු කළ මොජ්තබා, තම පියාටත් වඩා දැඩි සහ මර්දනකාරී පාලකයෙකු වනු ඇතැයි බොහෝ තරුණ පිරිස් බිය පළ කරති. මියගිය තම පියා වෙනුවෙන් පළිගැනීමට මොජ්තබා කටයුතු කරනු ඇති බවත්, එය ඇමෙරිකාවට වඩා ඉරානයේ සාමාන්‍ය ජනතාවට දැඩි පීඩනයක් එල්ල කිරීමට හේතු විය හැකි බවත් ඇතැම් වැසියෝ ප්‍රකාශ කරති. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉරාන ආගමික මණ්ඩලය විසින් මොජ්තබා තෝරා ගැනීමෙන් රටේ පාලනය තවදුරටත් දැඩි මතධාරීන් සහ ආරක්ෂක අංශ සතුවම පවතින බව තහවුරු වන බවයි.














