ඉරාන නව වසර හෙවත් ‘නව්රූස්’ (Nowruz) උත්සවය වෙනුවෙන් ඉරානයේ තෙවන උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) විසින් නිකුත් කරන ලද පිටු නවයකින් යුත් විශේෂ ලිඛිත පණිවුඩයක් අද (20) එරට රජයේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා යුද්ධයේදී ඝාතනය වූ සිය පියා වන අයතුල්ලා අලි ඛමේනිගේ අභාවය “පූජනීය දිවි පිදීමක්” (Martyrdom) ලෙස හඳුන්වමින් ඔහු මෙම පණිවුඩය නිකුත් කර ඇත.
මෙම වසර තුළ ඉරානය යුද්ධ තුනකට මුහුණ දුන් බව උත්තරීතර නායකයා සිය පණිවුඩයේ සඳහන් කරයි. ඉන් පළමුවැන්න ජූනි මාසයේ ඊශ්‍රායලය සමඟ පැවති ගැටුම වන අතර, දෙවැන්න වත්මන් යුද වාතාවරණයයි. තෙවැන්න ලෙස ඔහු හඳුන්වා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් අග භාගයේ සිට එරට රජයට එරෙහිව ඇරඹි දරුණු විරෝධතා මර්දනය කිරීමේ “අභ්‍යන්තර යුද්ධයයි”. රජයට පක්ෂපාතීව පෙළගැසුණු පිරිස් අගය කරන ඔහු, සිය පියාගේ අභාවය ද සිහිපත් කරමින් මෙවර නව්රූස් උත්සවය සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉරානයේ මෙවර වසර සඳහා වන සටන් පාඨය “ජාතික සමගිය සහ ජාතික ආරක්ෂාව හමුවේ ඔරොත්තු දෙන ආර්ථිකයක්” (Resistance Economy in the Shadow of National Unity and National Security) ලෙස ඔහු ප්‍රකාශයට පත් කර තිබේ. පවතින ජාත්‍යන්තර සම්බාධක සහ යුද පීඩනය හමුවේ ඉරානයේ ආර්ථිකය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සිය ප්‍රධාන අරමුණ බව මෙයින් ගම්‍ය වේ.














