ලෝකයේ ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකා සහ තෙල් ටැංකිවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටී. ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුව විසින් මේ වන විටත් අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, එය ඉතා ඉක්මනින් නීතිගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන බලධාරීන් පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉරානය විශාල පිරිවැයක් දරන බැවින්, ඒ සඳහා ගාස්තුවක් අය කිරීම සාධාරණ බවයි. ඕනෑම රටක් හරහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී බදු ගෙවනවා සේම, මෙම සමුද්‍ර සන්ධිය භාවිතා කරන නෞකා ද ආරක්ෂාව වෙනුවෙන් ගෙවීම් කළ යුතු බව ඔවුහු අවධාරණය කරති. දැනට පවතින මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි පහෙන් එකක් වන්නේ ද හෝමුස් සමුද්‍ර සන්ධිය මත තම බලය ක්‍රියාත්මක කිරීමට ඇති අයිතිය ජාත්‍යන්තරය විසින් පිළිගැනීමයි. මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් ගෝලීය තෙල් මිල කෙරෙහි එය සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.














