ඉරානය විසින් ගල්ෆ් කලාපයේ අසල්වැසි රටවල් ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) අද (07) නිල වශයෙන් සමාව අයැද සිටියේය. ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, අදාළ ප්‍රහාරයන් සන්නිවේදන දුර්වලතා (Miscommunication) හේතුවෙන් සිදුවූ බවත්, මින් ඉදිරියට කිසිදු අසල්වැසි රටකට මිසයිල ප්‍රහාර එල්ල නොකිරීමට ඉරාන අන්තර්කාලීන නායකත්ව මණ්ඩලය තීරණය කර ඇති බවත්ය. කෙසේ වෙතත්, යම් හෙයකින් එම රටවල සිට ඉරානයට ප්‍රහාරයක් එල්ල වුවහොත් පමණක් පෙරළා පහර දෙන බවට ඔහු අනතුරු ඇඟවීය.
මෙම සමාව අයැදීම සිදු කරන අතරතුරදීම, අමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කර ඇති කොන්දේසි විරහිතව යටත් වීමේ ඉල්ලීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. “ඉරාන ජනතාව යටත් කර ගැනීමේ සතුරන්ගේ හීනය ඔවුන්ගේ සොහොනටම රැගෙන යාමට සිදුවනු ඇතැයි” ඔහු අවධාරණය කළේය. අද උදෑසන ද බහරේනය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරාන ප්‍රහාර එල්ල වූ අතර, ඩුබායි නගරය ආසන්නයේ ප්‍රබල පිපිරීම් හඬ කිහිපයක් ද වාර්තා විය. ඊශ්‍රායලය සහ අමෙරිකාව දිගින් දිගටම ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරන පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.














