ඊයේ (07) තමන් කළ ‘සමාව අයැදීමේ’ ප්‍රකාශය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් කරමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) අද ප්‍රකාශ කළේ, ඉරානයට පහර දෙන ඕනෑම පාර්ශවයකට එරෙහිව තම රට නොසැලී සිටින බවත් ඉතා ප්‍රබල ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්ය. කලාපයේ “ආදරණීය ජනතාව” මෙම යුදමය තත්ත්වය හේතුවෙන් බියට පත්වීම ගැන පමණක් තමන් කණගාටු වන බව ඔහු මෙහිදී පවසා තිබේ.
ඉරාන ජනාධිපතිවරයාගේ මෙම තීරණාත්මක ප්‍රකාශයේ සාරාංශය මෙසේය. ගාසා තීරයේ අහිංසක දරුවන් 168 දෙනෙකු ඇතුළු 60,000කට අධික පිරිසක් මරා දැමූ ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉරානය දෙසට ඇඟිල්ල දිගු කිරීමට කිසිදු අයිතියක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. ඉරානයට එරෙහිව එල්ල වන ආක්‍රමණකාරී ක්‍රියාවලට මුල් වන ඕනෑම මධ්‍යස්ථානයක් හෝ මූලාශ්‍රයක් “නීත්‍යානුකූල ඉලක්ක” ලෙස සලකා ප්‍රහාර එල්ල කරන බව ඔහු යළිත් අවධාරණය කළේය.
පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් මියයාමෙන් පසු ඉරානය මේ වන විට බටහිර ආසියාවේ පිහිටි ඇමෙරිකානු සහ ඊශ්‍රායල යුද කඳවුරු ඉලක්ක කර දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටී. මෙම තත්ත්වය හමුවේ ඉරානය යටත් වීමට සූදානම් බවට පැතිර යන කටකතා ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ මුළුමනින්ම බැහැර වී තිබේ.














