කලාපීය නොසන්සුන්තාව සමනය කිරීමේ අරමුණින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) අද (07) විශේෂ ප්‍රකාශයක් කරමින් අසල්වැසි රටවලින් සමාව අයද සිටියේය. ඉරානයේ තාවකාලික නායකත්ව කවුන්සිලය විසින් අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බව ඔහු මෙහිදී නිල වශයෙන් ප්‍රකාශ කළේය.
පසුගිය සති අන්තයේ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු පිරිසක් මියයාමෙන් පසු ඇති වූ යුදමය වාතාවරණය හමුවේ ඉරානය විසින් අසල්වැසි රටවල් කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණි. ඒ පිළිබඳව කණගාටුව පළ කළ ජනාධිපතිවරයා, යම් රටක භූමියක සිට ඉරානයට ප්‍රහාරයක් එල්ල නොවන්නේ නම්, එම රටවලට ප්‍රහාර එල්ල නොකරන බවට සහතික විය.
කෙසේ වෙතත්, ඉරානය කිසිසේත්ම අමෙරිකාවට හෝ ඊශ්‍රායලයට යටත් නොවන බවත්, තම ජනතාවගේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු රූපවාහිනී දේශනයක් පවත්වමින් අවධාරණය කළේය. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුද බිය යම් මට්ටමකට පහව යනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.














