ලෝක අවධානය යොමුව ඇති මැදපෙරදිග කලාපීය ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීම සඳහා පවත්වනු ලබන සාකච්ඡා සාර්ථක කරගැනීමට නම්, අදාළ පාර්ශ්වයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සමඟ අද (31) පැවැත්වූ විශේෂ දුරකථන සාකච්ඡාවකදීය.
පැයකට අධික කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඉරානය සහ පාකිස්තානය යන රටවල් දෙකෙහිම දායකත්වය පිළිබඳව නායකයන් දෙපළ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ. විශේෂයෙන්ම වත්මන් යුදමය වාතාවරණය හමුවේ කලාපීය ආරක්ෂාව තහවුරු කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත.
කලාපීය ගැටලු විසඳා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සහ විශ්වාසනීය සහයෝගීතාවයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉරාන ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ. ඉරානය සහ අසල්වැසි රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීම හරහා මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය පාලනය කිරීමට හැකිවනු ඇතැයි නායකයන් දෙපළ මෙහිදී බලාපොරොත්තු පළ කළහ.














