ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් කිසිදු රටකට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි අද (16) අවධාරණය කළේය. ලෝකයේ බොරතෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගයේ පාලනය සම්පූර්ණයෙන්ම ඉරාන සන්නද්ධ හමුදා සතු බවත්, තම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම දැඩි පියවරක් ගැනීමට තමන් පසුබට නොවන බවත් ඔහු පවසා තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය මැදපෙරදිග කලාපය තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කර ඇති බවට චෝදනා කරන ඉරානය, මේ හේතුවෙන් දැනට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය සිදුවන්නේ ඉතා දැඩි විශේෂ කොන්දේසි යටතේ බව ද පෙන්වා දෙයි. ඉතිහාසය පුරා මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂකයා වූයේ ඉරානය වුවද, වර්තමානයේ උද්ගතව ඇති අනාරක්ෂිත තත්ත්වයට වගකිව යුත්තේ බටහිර බලවතුන් බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.
ඉරානයට එරෙහිව සතුරු ක්‍රියාවල නිරත වන රටවලට මෙම මුහුදු මාර්ගය භාවිතා කිරීමට ඉඩ නොදීම හරහා ගෝලීය තෙල් වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි විදේශ විචාරකයෝ මත පළ කරති. ඉරානය පවසන්නේ වෙරළබඩ රටක් ලෙස තම ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට තමන්ට ජාත්‍යන්තර නීතියෙන් අයිතියක් ඇති බවයි.















