ඉරානය සහ ඇමෙරිකාව අතර තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඇතැම් නෞකාවලින් ඉරානය ඩොලර් මිලියන 2ක සංක්‍රමණ ගාස්තුවක් (Transit fee) අය කරන බවට වාර්තා වේ. ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටු සාමාජික අලෙඩින් බොරෝජර්ඩි පවසන්නේ මෙලෙස ගාස්තු අය කිරීම ඉරානයේ ශක්තිය විදහා දක්වන්නක් බවයි. ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය පෙබරවාරි 28 වැනිදායින් පසු යුදමය වාතාවරණය හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව පවතී.
ඉරානය විසින් නෞකාවලින් ගාස්තු අය කරන බවට පළ වන වාර්තා පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය අවධානය යොමු කර ඇත. ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් (Randhir Jaiswal) මහතා අවධාරණය කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඉරානය අතර මෙතෙක් “කිසිදු සාකච්ඡාවක්” පවත්වා නොමැති බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් සහ ආරක්ෂිත නාවික ගමනාගමනය සඳහා ඉන්දියාව දිගින් දිගටම පෙනී සිටී. ඉරානය විසින් ඉන්දියාව “මිත්‍රශීලී” රටක් ලෙස සලකා නෞකා සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇති බව වාර්තා වුවද, ඉන්දියාව ඒ සඳහා කිසියම් ගාස්තුවක් ගෙවන්නේද යන්න පිළිබඳව රජය නිශ්චිතවම ප්‍රතික්ෂේප කර ඇත.
පකිස්ථානයේදී පැවැත්වීමට නියමිත ඉරාන – ඇමෙරිකානු සාකච්ඡාවලදී ද මෙම හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටලුව ප්‍රධාන මාතෘකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනාගතයේදී ඇති විය හැකි ඕනෑම තත්ත්වයකදී ඉන්දියාවේ අවශ්‍යතා සහ ජාත්‍යන්තර නාවික නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.














