ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ බලකායන් අතර ව්‍යාප්ත වෙමින් පවතින යුද්ධය පිළිබඳව බී.බී.සී. පර්සියානු සේවය (BBC Persian) විශේෂ විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. එහි දැක්වෙන පරිදි ඉරානයේ ප්‍රධාන අරමුණ සම්ප්‍රදායික යුද ජයග්‍රහණයක් ලැබීම නොව, තමන්ටම ආවේණික කොන්දේසි මත මෙම ප්‍රහාර හමුවේ විනාශ නොවී “පැවැත්ම” (Survival) තහවුරු කර ගැනීමයි.
ඉරානයේ යුද සැලසුම්වල ඇති ප්‍රධාන ලක්ෂණ කිහිපයක් මෙසේය. අමෙරිකාව සහ ඊශ්‍රායලය භාවිත කරන මිල අධික මිසයිල නාශක පද්ධති (Interceptors) ක්ෂය කිරීම සඳහා ඉරානය ඉතා අඩු පිරිවැයකින් නිපදවන ‘එක්වරක් පමණක් භාවිත කළ හැකි’ (One-way) ඩ්‍රෝන යානා සහ මිසයිල විශාල වශයෙන් යොදා ගනී. මෙය විරුද්ධ පක්ෂයේ යුද පිරිවැය අධික කරන උපක්‍රමයකි. එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා පමුණුවන බවට තර්ජනය කිරීම මගින් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ නංවා, යුද්ධය නතර කිරීමට ජාත්‍යන්තර බලපෑම් ඇති කිරීම ඉරානයේ තවත් අරමුණකි.
විමධ්‍යගත පාලනය සම්බන්ධයෙන් ගත් කල, උත්තරීතර නායක කමේනි සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන් ඝාතනය වුවද, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සතු ‘Decentralised’ හෙවත් විමධ්‍යගත අණදීමේ ව්‍යුහය නිසා ප්‍රාදේශීය අණදෙන්නන්ට ස්වාධීනව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී. කමේනිගේ මරණයෙන් පසුවත් ඉරාන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ මේ නිසාය. මීට අමතරව කටාර්, කුවේට්, ඕමාන් සහ ඉරාකය වැනි අසල්වැසි රටවල පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කිරීම හරහා, එම රටවල් මගින් වොෂින්ටනයට බලපෑම් කරවා යුද මෙහෙයුම් සීමා කරවා ගැනීමට ද තෙහෙරානය උත්සාහ කරයි.
කෙසේ වෙතත්, මෙම උපායමාර්ගය ඉරානය තවදුරටත් හුදකලා කිරීමට සහ මිසයිල තොග වේගයෙන් අවසන් වීමට හේතු විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. අවසානයේදී මෙම යුද්ධය තීරණය වනුයේ කවුරුන් ජය ගන්නේද යන්න මත නොව, වැඩි කාලයක් ප්‍රහාර දරාගෙන සිටින්නේ කවුද යන්න මතය.














