අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් උන්හිටිතැන් අහිමිව අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය (UNHCR) නිවේදනය කරයි. මෙම අවතැන්වූවන්ගෙන් බහුතරය ටෙහෙරාන් අගනුවර සහ ප්‍රධාන කාර්මික නගරවල පදිංචිකරුවන් වන අතර, එල්ල වන මිසයිල සහ ගුවන් ප්‍රහාර හමුවේ ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව, ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරාන වැසියන් 25,000කට අධික පිරිසක් සිය ජීවිත ආරක්ෂාව පතා අසල්වැසි ඇෆ්ගනිස්ථානය වෙත පලා ගොස් ඇත. යුදමය තත්ත්වය දිනෙන් දින උග්‍ර වන බැවින් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ඉදිරි දිනවලදී තවදුරටත් ඉහළ යා හැකි බවට අනාවැකි පළ වේ. මේ වන විටත් ඉරානයේ ප්‍රධාන නගර රැසක ආහාර සහ ඖෂධ හිඟයක් මතු වෙමින් පවතින බව ද සහන සේවා සංවිධාන පෙන්වා දෙයි.
















