ඉරානයේ තෙහෙරාන් අගනුවර පිහිටි විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයේ සහ ගල්ෆ් කලාපයේ පිහිටි ඇමෙරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරාන පාසල් සහ විශ්වවිද්‍යාල ඉලක්ක වීම වහා නැවැත්විය යුතු බව ඉරාන රජය අවධාරණය කරයි.
මෙම ගැටුමේ දරුණුතම අවස්ථාව ලෙස පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකානු නාවික හමුදාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයකින් ඉරාන බාලිකා පාසලක් විනාශ වූ අතර ඉන් දැරියන් 168 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මෙම සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා හෙළා දකින යුද අපරාධයක් ලෙස හඳුන්වා දී ඇතත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මෙය ඉරාන හමුදාව අතින්ම සිදුවූවක් බවයි. කෙසේ වෙතත් ‘යූඑස්එස් ස්පෲවාන්ස්’ (USS Spruance) යුද නෞකාවේ සිට මෙම ප්‍රහාරයට අණ දුන් බව කියන ලී ආර් ටේට් සහ ජෙෆ්රි ඊ යෝක් යන නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඉරානය පවසා ඇත්තේ මේ සඳහා කිසිදු සමාවක් නොදෙන බවයි.














