ඉරානයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) ඇමෙරිකාවට මාරාන්තික අනතුරු ඇඟවීමක් කර තිබේ. ඇමෙරිකානු සෙබළුන් ඉරාන භූමියට පය තැබුවහොත් එය ඔවුන්ගේ “මළගම” වනු ඇති බවත් දස ලක්ෂයකට අධික ස්වේච්ඡා තරුණයන් පිරිසක් ඇමෙරිකානු හමුදාවට එරෙහිව සටන් කිරීමට සූදානමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය. ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ තම භූමියට ඇතුළු වන සෙබළුන් පණපිටින් පුළුස්සා මිනීපෙට්ටිවලින් ආපසු යවන බවයි.
මේ අතර ඉරානයේ උපායමාර්ගිකව වැදගත් කාර්ග් දූපත (Kharg Island) අත්පත් කරගැනීමේ සැලසුමක් ඇමෙරිකාව සතු බව වාර්තා වන අතර ඒ සඳහා මැරීන් භටයන් 3,500ක් රැගත් “යූ එස් එස් ට්‍රිපොලි” (USS Tripoli) යුද නෞකාව මේ වන විටත් මැදපෙරදිග කලාපයට ළඟා වී ඇති බව පෙන්ටගනය තහවුරු කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් සාකච්ඡා පිළිබඳ බාහිරින් ප්‍රකාශ කළද රහසිගතව ගොඩබිම් ප්‍රහාර සඳහා සැලසුම් සකස් කර අවසන් බවට ඉරානය චෝදනා කරයි. පවතින මෙම දැඩි යුදමය වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත.














