ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේදී, සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයට පෙර ඉරාන ක්‍රීඩිකාවන් සිය ජාතික ගීතය ගායනා කරමින් ඊට හමුදාමය ආචාරයක් පුද කිරීමට පියවර ගෙන තිබේ. මෙය පසුගිය සඳුදා පැවැති දකුණු කොරියානු තරඟයේදී ඔවුන් ජාතික ගීතය ගායනා නොකර නිහඬව සිටි ආකාරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් වන අතර ඉරාන ක්‍රීඩිකාවන් මෙලෙස කටයුතු කළේ එරට ආරක්ෂක අංශවල බලකිරීම් මත බව විදෙස් මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙයි. ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් 1,100කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වන පසුබිමක, තම මව්බිම තුළ පවතින බිහිසුණු තත්ත්වය හමුවේ ක්‍රීඩිකාවන් දැඩි මානසික පීඩනයකින් පසුවන බව ඉරාන ඉදිරි පෙළ ක්‍රීඩිකා සාරා දිදාර් හැඟීම්බරව ප්‍රකාශ කර ඇත.
මෙම සිදුවීම 2022 කටාර් ලෝක කුසලානයේදී ඉරාන පිරිමි කණ්ඩායම කටයුතු කළ ආකාරය සිහිපත් කරවන්නක් වන අතර ඔවුන් ද සිය පළමු තරඟයේදී ජාතික ගීයට නිහඬව සිට පසුව එල්ල වූ බලපෑම් මත දෙවන තරඟයේදී එය ගායනා කිරීමට කටයුතු කර තිබුණි. ඕස්ට්‍රේලියාව හමුවේ ගෝල 4-0ක් ලෙස පරාජයට පත් වූ ඉරාන කණ්ඩායමට තරඟාවලියේ ඉදිරියට යාමට නම් ලබන ඉරිදා පිලිපීනය සමඟ පැවැත්වෙන තරඟය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුව තිබේ. ක්‍රීඩා පිටියෙන් පිටතදී ඉරාන-ඕස්ට්‍රේලියානුවන් පිරිසක් ඊශ්‍රායල සහ ඕස්ට්‍රේලියානු කොඩි ඔසවමින් ඉරාන පාලනයට එරෙහිව විරෝධතාවල නිරත වීම ද මෙම තරඟයේදී දක්නට ලැබුණු විශේෂ සිදුවීමකි.














