2026 කාන්තා ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට (AFC Cup) සහභාගී වන ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට එරෙහිව එරට රජයේ රූපවාහිනී නිවේදකයෙකු විසින් “යුද කාලීන ද්‍රෝහීන්” (Wartime traitors) ලෙස ලේබල් කරමින් සිදුකළ තර්ජනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
මෙම තර්ජනය එල්ල වී ඇත්තේ තරගාවලියේ සමාරම්භක උළෙලේදී ඉරාන ජාතික ගීය ගැයීමෙන් එම ක්‍රීඩිකාවන් වැළකී සිටීම හේතුවෙනි. මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස වෘත්තීය පාපන්දු ක්‍රීඩකයින්ගේ ගෝලීය සංවිධානය වන FIFPRO, ලෝක පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනයෙන් (AFC) ඉල්ලීමක් කර තිබේ.
මෙම ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස එම සංවිධානය අවධාරණය කරයි. ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී ඉරාන ක්‍රීඩිකාවන් සිය හැඟීම් පාලනය කරගනිමින් තරග වැදීමට උත්සාහ කරන අයුරු දැකගත හැකි විය. මැදපෙරදිග පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ක්‍රීඩාව හරහා සිය විරෝධය පළ කරන ක්‍රීඩිකාවන්ගේ ජීවිත අවදානම පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද සිය අවධානය යොමු කර ඇත.














