මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය හමුවේ, ඉරාන නාවික හමුදාවට අයත් තෙවන යුද නෞකාව වන ‘IRIS Lavan’ වෙත රැකවරණය ලබාදීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. ඒ අනුව, 183 දෙනෙකුගෙන් යුත් නාවික කාර්ය මණ්ඩලයක් සමඟ මෙම නෞකාව ඉන්දියාවේ කොචි (Kochi) වරායේ ආරක්ෂිතව තටාකගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම නෞකාව පසුගිය පෙබරවාරි 28 වන දින ඉන්දීය රජයෙන් රැකවරණය ඉල්ලා සිටි අතර, පවතින මානුෂීය සහ ආරක්ෂක තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව මාර්තු 1 වන දින ඒ සඳහා නිල අනුමැතිය හිමිව තිබේ. ඉන්දීය සාගර කලාපයේ බලවතුන් අතර සිදුවන මෙම රාජ්‍ය තාන්ත්‍රික හුවමාරුව ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත්තේ, කලාපයේ අනෙකුත් ඉරාන නෞකා ද විවිධ වරායන් වෙත රැකවරණය පතා පැමිණෙන පසුබිමක ය.
ඉරාන නාවික හමුදා සාමාජිකයන් සිය ගණනක් ශ්‍රී ලංකාවේ වැලිසර සහ කොළඹ වරාය ආශ්‍රිතව රැඳී සිටින මොහොතක, ඉන්දියාව ද මෙලෙස ඉරාන නෞකාවකට රැකවරණය දීම කලාපීය සහයෝගීතාවයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














